මොලයට ආයෙත් හිතන්න
අපේ අම්මාට පළතුරු කවන්න නම් සීනි, ලුණු, ගම්මිරිස් දාලා blender කරන්න ඕන. මට නම් ඒ චප්පය කන්න හිතෙන්නේ නෑ. දවසක් කිලෝ පේර චප්පයක් කටවල් දෙකක් කාලා එපා කිව්වා. රු. 150ක් නිකම් විසි කරන්න පුළුවන් ආර්ථිකයක් අපට නෑ; ඒත් එහෙම කියලා මේ චප්පය කන්නත් බෑ.
පරණ අඹ කේක් රෙසිපියක් බලා ගෙන පවුලට ම කන්න පේර කේක් එකක් හැදුවා.
පාන් පිටි කෝප්ප 1යි 1/2යි
සීනි කෝප්ප 2/3යි
බේකින් පවුඩර් තේහැඳි 1යි 1/2යි
බේකින් සෝඩා තේහැඳි 1/4යි
ලුණු තේහැඳි 1/4යි
සාදික්කා කුඩු තේහැඳි 1/2යි
එක bowl එකක කලවම් කර ගත්තා.
අර පේර චප්පයට,
කිරි කෝප්ප 1/4යි
තෙල් කෝප්ප 1/3යි
දාලා වෙන ම කලවම් කර ගත්තා.
කේක් එක පුච්චන පොඩි සාස්පාන අඩියෙයි වටේටයි තෙල් ටිකක් උලලා පාන්පිටි ටිකක් ඉස ගත්තා.ඊට ටිකක් ලොකු සාස්පාන අඩියට පොල්කටු වළල්ලක් තියලා (අපට කොහෙන් ද cooling rack!🙃) පියනෙන් වහලා හීනියට ගින්දර දාලා ලිපේ තිබ්බා. අවන් එකකුත් නෑ නේ මට. 🥲
දැන් අර පිටි මිශ්‍රණයට චප්ප මිශ්‍රණය දාලා කලවම් කර ගත්තා. (පේර ගෙඩිය ලොකු නිසා මිශ්‍රණය තෙත වැඩියි. පස්සේ තමයි හිතුණේ තව පාන්පිටි ටිකක් දැම්මා නම් කියලා.)
අවසානයට ආපු කේක් මිශ්‍රණය පිටි ඉස ගත්ත සාස්පානට හැලුවා. (ඇඟිල්ලෙනුත් සූරලා දාලා රහත් පොඩ්ඩක් බැලුවා. රසයි.)
දෙපාරක් තුන්පාරක් මේසේ උඩට තට්ටු කරලා අර ලිපේ රත් වෙන සාස්පානේ පොල්කටු රවුම උඩින් තිබ්බා.
තෙත වැඩි නිසා ම ද කොහේ දෝ පැයක් විතර මද ගින්නේ පුච්චන්න සිද්ධ වුණා. ඒත් ඉතිං පේර චප්පය රසවත් කේක් ගෙඩියක් බවට පත් වුණා.
සමහරු කියනවා, කේක් හදද්දී නූලට රූලට කිරුම් මිනුම් ගත්තේ නැත්නම් හොඳට එන්නේ නෑ කියලා. මා ළඟ හැඳ කාල බාග, කෝප්ප කාල භාග මනින ගැජට් නෑ. ඒත් ඉතිං මාළු හොදි ටිකක් එක්ක හරි කන්න බැරියැ! 😃😁😄

Comments
Post a Comment